සමරිසිභීතිකා දේශනයට එරෙහිව පොලීසිය සහ අමා දිසානායකට නොතීසි නිකුත් කිරීමට EQUALGROUND ආයතනය සහ තවත් පෙත්සම්කරුවන් හට ‎අභියාචනාධිකරණයෙන් අවසර

ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට විරුද්ධව ගොනු කල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් පසුගිය සිකුරාදා (12) පෙත්සම්කරුවන්ට අවසර ලබා දෙන ලදි.

එම වගඋත්තරකරුවන් විසින් LGBTIQ ප්‍රජාව සම්බන්ධව ද්වේෂසහගත, සාවද්‍ය සහ වෙනස්කොට සලකන දේශනයක් පොලිස් නිලධාරීන් වෙත පැවැත්වීමට එරෙහිව, එවැනි දේශනා පැවැත්වීම වළක්වාලමින් (Prohibition) රිට් ආඥාවක් ලබා දෙන ලෙස අයැදිමින් ශ්‍රී ලංකාවේ LGBTIQ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන පැරණිතම ආයතනය වන EQUAL GROUND ආයතනය සමග තවත් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් විසින් අනෙක් පුද්ගලයන්, විශේෂයෙන් යෞවනයන්, LGBTIQ ප්‍රජාවෙ අයෙකු බවට පත් කිරීමට ගොදුරු කරගන්නා බවත්, LGBTIQ වීම අස්වාභාවික බවත්, එම සම්බන්දතා මගින් වර්ගයා බෝ නොවන බැවින්, එය ජීව විද්‍යාත්මක සහ සමාජ සම්මතයන්ට පටහැනි බවත් 2021 ජූලි මස පැවැත්වූ එම දේශනයේදී ඇය ප්‍රකාශ කර ඇත. තවද ඇය එම දේශනයට සහභාගී වූ නිලධාරීන්ට ශබ්ද නගා ඔවුන් එවැනි සමරිසි සම්බන්දතා වලට විරුද්ධ බව ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සහ ඔවුන් කොන් කිරීමට ලක් කරන මෙවැනි පුහුණු, දේශනා, වැඩමුළු හෝ වැඩසටහන් ශ්‍රී ලංකා පොලීසිය විසින් නැවත පැවැත්වීම වළක්වාලමින් (Prohibition) රිට් ආඥාවක් ලබා ගැනීමට පෙත්සම්කරුවන් බලාපොරොත්තු වේ. නීති ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය විසින් මෙවැනි ක්‍රියා වලට අනුදැනුම සහ අවසර දීම තුලින් විවිධ ලිංගික දිශානතීන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව/ප්‍රකාශන සහිත පුද්ගලයන් භෙලා දැකීම, අමානුෂික ලෙස සැලකීම සහ පරිභව කිරීමට අනුබල දෙන අතර, එය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 12 වගන්තිය සහ මුලික මානව අයිතීන් වලට පටහැනි වේ.

පෙත්සම විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්වී-පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි (අවු. 18-65) ජනගහනයෙන් 12% ක්, එනම් 1,469,574 ක කොටසක් තමන් LGBTIQ ප්‍රජාවේ අයෙකු බව EQUAL GROUND විසින් 2021 දී සිදු කල සමීක්ෂණයෙන් අනාවරණය විය. ඒ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන සමරිසිභීතිකා සහ සංක්‍රාන්තිභීතිකා මත පදනම් වෙනස්කොට සැලකීම් පිලිබඳ ලේඛණගත සාක්ෂි ඇත. මෙවැනි සන්දර්භයක, මේ ආකාරයේ  පුහුණු, දේශනා පැවැත්වීම, ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ තවමත් ඇති යල් පැනගිය, යටත්විජිත නීති නිසා LGBTIQ ප්‍රජාව විසින් මුහුණදෙන වෙනස්කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයන් වැඩි වීමට අනුබල දීමකි.

EQUAL GROUND ආයතනය විසින් සමරිසිභාවය මානසික/කායික රෝගයක්/ආබාධයක් හෝ අසාමාන්‍යතාවයක් බවට අමා දිසානායක දේශනයේදී කල සාවද්‍ය ප්‍රකාශ හෙලාදකිමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ සංගමය වෙත යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින්, එම සංගමය නිකුත් කල ප්‍රකාශය මගින් කියා සිටියේ “නූතන මනෝවෛද්‍යවරුන් සමරිසිභාවය මානසික රෝගයක් ලෙස රෝග විනිශ්චය නොකරයි. එය එසේ හඳුනනොගැන අතර හෝ මානසික රෝගයක් ලෙස නොසැලකේ.  සමරිසිභාවය මානසික රෝගයක් බවට පවතින මිත්‍යා මතය අප මනෝවෛද්‍යවරුන් අනුගමනය කරන විද්‍යාව මත පදනම් වූ වෛද්‍ය පුහුණුවීම් වලට පටහැනිය.”

තවද, එකී ප්‍රකාශය මගින් සංගමය කියා සිටියේ, යල් පැනගිය යටත්විජිත සමයේ නීති මගින් තවමත් අපරාධිකරණය කරන සහමතියෙන් වැඩිහිටියන් අතර සිදුවන සමරිසි ලිංගික සම්බන්ධතා නිර්සාපරාධිකරණය කරන ලෙස අදාළ අධිකාරී ආයතන වෙත තම සංගමය බලවත් උනන්දුවෙන් කියා සිටින බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙනී සිටීයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න